මාස්ටර් සර් - කළු දිය දහර (1975)
- මාධව විජේසේකර
- May 3, 2017
- 3 min read





පනම් අටෙන් මට වැඩිකර දුන්න හැකි උනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ නිම වෙන්නට කල් ගත වෙයිදෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ
මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න අනේ සර් කරුණාවෙන් සලකන්න
අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ...
කළු දිය දහර චිත්‍රපටියේ අතුළත් වූ මේ ගීතය අදටත් ජනප්‍රියයි. හැබැයි ඒ ජනප්‍රිය ගීතය පිටුපස කතාව නම් තරමක් අමිහිරියි. ඒ කතාව මොකද්ද කියලා 2012 දෙසැම්බර් 23 දා සිළුමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දුන් නිමල් මෙන්ඩිස් මහතා මෙන්න මෙහෙම කියනවා.
"මේ ගීතය මං ලියුවේ මගේ ජීවන අත්දැකීමක් ඇසුරින්. මං ලියූ හැම ගීතයක් ම එහෙමයි. ඒ නිසා ‘මාස්ටර් සර්’ ගැන ඒ කතාව මට කෙටියෙන් කියන්නම ඕනෙ. බොහොම තරුණ කාලේ මං එංගලන්තෙ ජීවත් වුණේ සමාජ ශාලාවක පියානෝ ගහලා. හැමදාම මං ගෙදර ආවේ අන්තිම බස් එකේ. එක දවසක් මට බස් එක මිස් වුණා. මං පයින් ඇවිදින්න ගත්තා. හුඟක් දුර ඇවිදගෙන එද්දි එක පාරටම වෑන් එකක් නවත්තලා හතරපස් දෙනෙක් මගේ හමේ පාට කිය කියා ගහන්න ගත්තා. තුවක්කුවක් අරන් වෙඩි තියද්දි මං දුවලා පණ බේරා ගත්තා. මට උදව් කළේ අයිරිෂ් ජාතිකයෙක්. එංගලන්තය මට එපා වුණා. ඒත් මට හුඟක් හිටියෙ සුදු ජාතික යාළුවෝ. පස්සෙ මමම හිත හදාගෙන, බය නැතිවෙනකල් හැමදාම රෑට පයින් ගෙදර ගියා. ඒත් ටික දවසකින් මං එංගලන්තෙ අතෑරලා ඇවිත් නෝටන්බ්‍රිජ්වලින් අක්කර 10 ක් අරගෙන වගා කරන්න ගත්තා. ඒ දෙමළ මිනිස්සු මට කතා කළේ ‘මාස්ටර්’ කියලා. දෙමළ අය තමන්ගෙ ස්වාමියාට කතා කරන්නෙ එහෙමයි. සිංහල මිනිස්සු කිව්වෙ ‘සර්’ කියලා. මට තේරුණා, එංගලන්තෙ වුණත් මෙහෙ වුණත් තියෙන වර්ග - වර්ණ භේදය ගැන. මනික් සන්ද්‍රසාගර මගේ යාළුවෙක්. එයා මට කිව්වා ඔය වගා කර කර ඉන්නෙ නැතිව ඇවිත් එයා එක්ක වැඩ කරන්න කියලා. ඊට පස්සෙ එයාගෙ උවමනාවට තමයි මං එයා කරපු ‘කළු දිය දහර’ චිත්‍රපටයට ‘මාස්ටර් සර්’ ගීතය ලියුවෙ. මං ඉංගී‍්‍රසියෙන් ලියපු ගීතය, බොහොම සාර්ථකව කරුණාරත්න අබේසේකර එයාගේ සිංහල වචන දමලා පරිවර්තනය කළා.". ගීතය ගායනයට අධ්‍යක්ෂ වරයා විසින් තෝරාගෙන තිබුනේ නෙවිල් ප්‍රනාන්දු මහතා. නමුත් නිමල් මෙන්ඩිස් මහතාගේ ඉල්ලීමක් පරිදි 16 වියැති නීලා වික්‍රමසිංහ නම් දැරිය ගායනය සඳහා එක් වෙනවා. එය තමා ඇය පළමු වරට චිත්‍රපටයක තනිව ගීතයක් ගායනා කල අවස්ථාව. චිත්‍රපටියේ නාමාවලියේ පසුබිමින් ඇහෙන්නේ ඇගේ හඬින් ගැයූ ගීතයයි.
නමුත් මෙම ගීතය තරම් විවිධ ස්වරූප වලින් ගැයූ තවත් ගීතයක් සොයාගැනීමටත් අපහසුයි. ගීතයේ ඉංග්‍රීසි රචනාව සැන්ඩ්‍රා එදිමා (Sandra Edema) සහ නිමල් මෙන්ඩිස් විසින් ගායනා කරනවා. මෑත කාලයේදී භාතිය සහ සන්තුෂ් විසින්ද වෙනස් ආරක ගායනාවක් ඉදිරිපත් කර තිබුණා.
නෙවිල් ප්‍රනාන්දු මහතා ගැයූ ගීතය
එම ගීතයම නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් 1983 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩසටහනකට Superstars සංගීත කණ්ඩායම සමග ගැයූ අයුරු.
මෙම ගීතයේ ඉංග්‍රීසි රචනාව සැන්ඩ්‍රා එදිමා (Sandra Edema) සහ නිමල් මෙන්ඩිස් විසින් ගායනා කරන අයුරු.
බොහෝ දෙනාගේ දැනගැනීම සඳහා එහි ඉංග්‍රීසි පද රචනාවත් මෙතන පල කරන්නම්.
There's a long long way for us to go
Before this struggle war and ever is
When that day will be, I don't know
"Master Sir, when can I call you friend?"
The ten cents more
Which you have promised to pay me
Will buy my child an extra ball of rice
But Master Sir, I have my dignity
Master Sir, treat me kind and nice
There's a long long way for us to go
Before this struggle war and ever is
When that day will be, I don't know
"Master Sir, when can I call you friend?"
Once again, the foreman came and told me
That soon one day, my life would be just fine
But Master Sir, I have my dignity
I ask you now, to hand me no more lies
There's a long long way for us to go
Before this struggle war and ever is
When that day will be, I don't know
"Master Sir, when can I call you friend?"
"Master Sir, when can I call you friend?"
කළු දිය දහර චිත්‍රපටියේ විස්තර සැකෙවින් :
තිරගත වූ දිනය –1975 නොවැම්බර් 28
ඉදිරිපත් කිරීම – ඉන්ටනැෂනල් ෆිල්ම්ස්
නිෂ්පාදනය – ක්ලිෆඩ්.එස්. රත්වත්ත/පී.ඒ.කුරේ/ඩී.බී. දොලොස්වල/මැණික් සන්ද සාගර/ජේ.බී.වේළන්ඩා/කුවින්ටස් කුරේ
කතාව සහ අධ්‍යක්ෂණය – මැණික් සන්ද්‍රසාගර
දෙබස් සහ තිරනාටකය – තිස්ස අබේසේකර
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ සහාය මවුලානා පෙරේරා
සහාය අධ්‍යක්ෂණය - පේ‍්‍රමනාත් මොරායස්
සංස්කරණය - සුමිත්‍රා පීරිස්
සහාය ග්ලැඩ්වින් ප්‍රනාන්දු
වේශ නිරූපනය –ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – රම්‍යවංශ වීරබෝධි
සැකසුම – රජයේ චිත්‍රපට අංශය
පිටපත් මුද්‍රණය – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – රංජිත් සිල්වා
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
නිෂ්චල ජායාරූප - බෝධි විජේසිංහ
නිෂ්පාදන කළමනාකරු - අනුර දිසානායක
නිෂ්පාදන අධිකාරී – රංජිත් කුරේ
සංගීත අධ්‍යක්ෂණය – නිමල් මෙන්ඩිස්
ඇඳුම් නිර්මාණය – කීර්ති ශ්‍රී කරුණාරත්න
ගීත :
මාස්ටර් සර් -නෙවිල් ප්‍රනාන්දු/නීලා වික්‍රමසිංහ (කරුණාරත්න අබේසේකර)
මාස්ටර් සර් - සර්ධා ඒකනායක/රංජිත් යාපාද අල්විස්
මාස්ටර් සර් –(ඉංගී‍්‍රසි) – ලයිලි ගොඩ්රිජ් සහ පිරිස
කවිය - නේන නංවා රළ පෙරළී
ගීත තැටි - ජෙම්ටෝන්
ධාවන කාලය – පැය දෙකයි
දිග අඩි 12000
නළු නිළියන් :
ජෝ අබේවික්‍රම
රවීන්ද්‍ර රන්දෙණිය
මානෙල් වානගුරු
වින්සන්ට් සේරසිංහ
මනෝ බෙකන්ජි
ජී.ආර්.පෙරේරා
ඉන්දිරා අබේසේන
රංජිත් කුරේ
මංගල දර්ශනය – එවකට ගරු අගමැතිනිය, සභා නායක මෛත්‍රීපාල සේනානායක සහ මැකී රත්වත්තේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව කොළඹ රීගල් සිනමා ශාලාවේ දී පැවැත්විණ.
ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් සමාගමේ පළමු මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය.
Comments