පීනමුකෝ කළුගඟේ
- මාධව විජේසේකර
- May 2, 2017
- 2 min read


පීනමුකෝ කළුගඟේ - කිරි බැබලෙන හඳ පානේ //
දෙගොඩ තලා යන වතුරේ තරඟ නැගී පෙන විසිරේ
කිරි බැබලෙන හඳ පානේ...
සුනිල් දියේ සඳ කැලුම් වැදීලා දියරැලි හා රඟ දෙන්නේ
සුදට සුදේ සුදු කෙකටිය ගාලක් දිය මතු පිට ලෙලදෙන්නේ
පීනමුකෝ කළුගඟේ - කිරි බැබලෙන හඳ පානේ //
ඕලු නෙළුම් මල් දෝත පුරාගෙන සුදු ඇඳුමින් සැරසීලා
ඉවුර දිගේ අර බෝ මළුවට නොවැ මේ මහ පිරිස ඇදෙන්නේ
පීනමුකෝ කළුගඟේ - කිරි බැබලෙන හඳ පානේ //
බුදු හිමියාණන් මෙලොව දිනූ ඒ පෝය දිනේ සිරි වෙසඟේ
සාදු නාද දෙති මහ සේනාවෝ නිවන් මගට බසිනා
කිරි බැබලෙන හඳ පානේ...
මේ ගීතය රචනා කරලා තියෙන්නේ ඩී. ටී. ප්‍රනාන්දු මහතා විසින්. බොහෝ අය හිතාගෙන ඉන්නේ මේ ගීතය රචනා කරලා තියෙන්නේ පණ්ඩිත් අමරදේවයන් කියලයි. නමුත් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සංහිඳ වැඩසටහන් මාලාවේ ඩී. ටී. ප්‍රනාන්දු මහතා ගැන සිදුකල වැඩසටහනේ මේ කතාව හොයාගන්න ලැබුණා. ප්‍රනාන්දු මහතාගේ පුත් භජී ප්‍රනාන්දු මහතා තම පියාගේ නිර්මාණ ගැන මතකය ආවර්ජනය කරමින් මෙසේ කියා තිබුණා.
ඩී. ටී. ප්‍රනාන්දු මහතා යනු අන් කවරෙකුවත් නොව සිංහල සිනමාවේ දෙවන චිත්‍රපටිය වන අසෝකමාලා චිත්‍රපටියේ අපි අසා ඇති මියුරු ගීතවල පද රචකයායි. තවත් මියුරු ගීත රැසක් එතුමා රචනා කලත් බොහෝ අවස්ථාවල දී එතුමාගේ පද මාලාවන්ට වෙනත් අයගේ නම් දමා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එතුමා බොහෝ කණගාටුවෙන් හිටියේ.
මේ ගීතය රචනා කරලා තියෙන්නේ, මූලික වශයෙන් ම ප්‍රනාන්දු මහතායි. අසෝකමාලා චිත්‍රපටියේ හඳුනාගත් අමරදේවයන් දවසක් එතුමාට මුණගැහෙනවා බස් රථයේ කළුතර සිට කොළඹ යන ගමනක දී. ප්‍රනාන්දු මහතා දුටු අමරදේවයන්, "ඔබතුමා දැකපු එකත් හොඳයි. මම මේ පටිගත කිරීමකට යන ගමන්. ඔබතුමාගෙන් ගීතයක් ලියාගන්න බැරි ද?" යනුවෙන් ඇසූ විට එවෙලේ කළුගඟ ගැන මෙනෙහි කරමින් තමන්ගේ සහ අමරදේවයන්ගේ බස් ටිකට් දෙකේ මේ පදරචනාව කර තිබෙන්නේ. නමුත් අවසාන අන්තරා කොටස තමන්ට ලියාගන්නට නොහැකි වූ බවත් ඊට හේතුව වූයේ බම්බලපිටියේ දී අමරදේවයන්ට බස් රථයෙන් බැසී යාමට සිදු වීම නිසා බවත් ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා.
ඒ නිසා අවසාන අන්තරා කොටස අමරදේවයන් විසින් ලියූ බවට අනුමාන කරන්න පුළුවන්. ගීතයේ පද මාලාව දිහා බැලුවාමත් පලවෙනි අන්තරා කොටස් දෙකට වඩා අවසාන අන්තරා කොටස වෙනස් බවක් පේනවා. ගායනා කරන තනුවෙත් මේ දෙකේ වෙනසක් අපිට ඇහුවාම පේනවා. මේ නිසා අමරදේවයන්ගේ පද රචනාවක් ලෙස බොහෝ තැන් වල දී සඳහන් වී තිබීම සිද්ධවන්නට ඇති බවයි, මගේ පෞද්ගලික අදහස. නමුත් අපේ යුතුකම තමයි හරි දේ ඉදිරිපත් කිරීම.
Kommentare