තරු අරුන්දතී නෙතු පහන් නිවා
- මාධව විජේසේකර
- May 2, 2017
- 2 min read



තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මඟ වනස්පති ලිය ලදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අළුත් මලින් පිරි වනෝද්‍යානේ සැඳෑ බොල් හුළඟේ මට තනියක් දැනුණා තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුණා වැලපෙන මා හද කැටපත් පවුරේ හංස ගීතය ලියැවෙන දා පළමු අරුණු රන් රේඛාවක් සේ ප්‍රාර්ථනා සුවඳේ ඔබ එතැයි සිතුණා පිපි මලින් මලේ රොන් සුනු විසිරී හද දිදී සුසුම් රඟනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොයි ගියේද මට සිතුණා කොයි ගියේද මට සිතුණා//
වෛදික යුගයේ භාරතයේ මිනිස්සු තාරකා දේවත්වයේ හා සෘෂිත්වයේ ලා පුදන්නට හුරු පුරුදුව සිටියා. කොහොමටත් කරන ලද පුණ්‍ය ක්‍රියාවන්ගේ ඵලයක් සේ දෙව්ලොව උපදින කාන්තාවන්ගේ කාන්තිය තාරකා තුළින් පිළිබිඹු වෙති’යි සැලකුණා.
සප්තර්ෂීන් අතර සිටින වසිෂ්ඨගේ පතිනිය වූ අරුන්දතිය ද තාරකාවක් බවට පත්වන්නේ මෙකියන සංකල්පයට අනුවයි. උත්තර රාම චරිතයෙහි සඳහන් වන ආකාරයට අරුන්දතිය ලොවට වැඩ සලසන්නියකි. ශිව දෙවියන් තුළ ද බිරියක ලබා ගැන්මේ අදහස වැඩි දියුණු වූයේ අරුන්දතිය දැක්මෙන් ලු. සමහර තැනෙක ඇය සෘෂීන් සත් දෙනාගේ ම බිරිය ලෙස ද සඳහන් ය. එසේ ම ඇය ලජ්ජාශීලී කන්‍යාවන් වෙත දැඩි දයාවක් දක්වන්නියක ලෙස ද ප්‍රකට ය.
අරුන්දතී තාරකාව සප්තර්ෂී තාරකා හෙවත් අර්සා මේජර් තාරකා මණ්ඩලයේ ඇති තාරකාවක්. බටහිර තාරකා විද්‍යාඥයෝ මෙම තාරකාව ‘ඇල්කෝර්’ නමින් හඳුන්වනවා. අරුන්දතී හෙවත් ඇල්කෝර් අර්සා මේජර් තාරකා මණ්ඩලයේ පිහිටා ඇත්තේ ‘වසිෂ්ඨ’ නම් තාරකාව ආසන්නයෙන්. එම තාරකාව බටහිර තාරකා විද්‍යාවේදී ‘මයිසාර්’ නමින් හැඳින්වෙනවා.
අරුන්දතී තාරකාවට වඩා වසිෂ්ඨ තාරකාව දීප්තිමත් වෙනවා. මේ කියන අර්සා මේජර් හෙවත් සප්තර්ෂි අපේ ජනතාව අතර ප්‍රකටව ඇත්තේ ‘මහ වලසා’ යනුවෙනි. ඇතැම් රටවල මෙම තාරකා මණ්ඩලය ‘නගුල’ යනුවෙන් හැඳින්වේ.
වෛදික යුගයේ ගෘහ පූජා විසින් අරුන්දතී තාරකාවට වැඩි තැනක් ලැබුණු බව කියවෙනවා. විවාහ වූ දිනයේ මනාලයා මනාලියට ධ්‍රැව තාරකාවත්, අරුන්දතී තාරකාවත් පෙන්විය යුතු යි. එවිට මනාලිය ‘’මගේ සැමියාට දිගාසිරි ලැබේවා” “මට දරුපල ලැබේවා” යයි කියනවා.
Comments