අවසන් ලියුමයි ඔබට ලියන්නේ
- මාධව විජේසේකර
- May 2, 2017
- 1 min read


අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නැ
මගෙ හිත අද තද නින්දේ
එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටිමී
ගෙල වට කරගෙන ළමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී
අබරණ අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැ
මගෙ හිත අද තද නින්දේ
පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා
අබරණ අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැ
මගෙ හිත අද තද නින්දේ
මේ ගීතය ලියවුණු රසවත් කතාව මේකයි. එවකට ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනක් සඳහා ෂෙල්ටන් පෙරේරා මහතාට ගීත හතරක් නිර්මාණය කරන්නට අවශ්‍ය වී තිබුණා. නමුත් එතුමා හදාගෙන තිබුණේ ගීත තුනක් පමණයි. පටිගත කිරීමට ගිය විට තමයි එතුමාට තවත් ගීතයක් අවශ්‍ය බව දැනගත්තේ.
මේ වෙනකොට ඩෝල්ටන් අල්විස් මහතා ගුවන් විදුලි සංස්ථාවේ ආපන ශාලාවේ ඉඳලා තියෙනවා. ෂෙල්ටන් පෙරේරා මහතාගේ බිරිඳ වන ශෂී පෙරේරා මහත්මියත් එවකට ගුවන් විදුලි සංස්ථාවේ හින්දි සේවයේ නිවේදිකාවක් ලෙස සේවය කරනවා. වහාම තම බිරිඳට ෂෙල්ටන් පෙරේරා මහතා කියනවා, "ශෂී, ඩොටී ඉන්නවා කැන්ටිමේ. ඉක්මනට ගිහින් සිංදුවක් ලියවා ගෙන එන්න" කියලා.
සැමියාගේ ඉල්ලීමට වහාම ආපන ශාලාව වෙත දිව යන ශෂී පෙරේරා මහත්මිය ඩෝල්ටන් අල්විස් මහතාට කාරණය කියනවා. ඒ අවස්ථාවේ දී ඩෝල්ටන් අල්විස් මහතා තම සාක්කුවේ තිබුණු සිගරට් පෙට්ටිය අරගෙන එහි ඊයම් කොලය අනික් පැත්තට හරවා ක්ෂණිකව මේ පද මාලාව ලියනවා. ඒ පද මාලාව ලැබුණු ෂෙල්ටන් පෙරේරා මහතා ක්ෂණිකව තනු නිර්මාණය කර වාදක මණ්ඩලයට "ඔයා මේ වෙලාවට මේ කොටස වාදනය කරන්න" යනුවෙන් උපදෙස් දී ගීතය වාදනය කරවමින් ගායනා කරනවා.
ක්ෂණිකව නිර්මාණය වුණත් මේ ගීතය අදටත් ජනප්‍රියයි. පසුකාලීනව ෂෙල්ටන් පෙරේරාවන්ගේ පුත් සතිෂ් පෙරේරා විසින් නව සංගීත සංයෝජනයක් සහිතව මේ ගීතය තාරුණ්‍යය අතරටත් ගෙනාවා.
コメント